වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි අනෙක් තරුණයාගේ සිරුර ද නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පසු අද (17) සවස සොයාගෙන තිබේ. ඒ අනුව මෙම අවාසනාවන්ත ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත් වූ සමස්ත තරුණයන් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් ඇත.
තෙල්දෙණිය පොලිස් වසමට අයත් බඹරගල පන්සල අසල ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයට තරුණයන් සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් දිය නෑමට පැමිණ ඇති අතර, එහිදී ඔවුන් දියේ ගිලී තිබේ. අනතුරට ලක්වූවන්ගෙන් එක් තරුණයෙකු පමණක් නිරුපද්‍රිතව සිය දිවි බේරාගැනීමට සමත්ව ඇත.
මෙලෙස දියේ ගිලී අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ත් 21ත් අතර පසුවන මහනුවර, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් පිරිසකි. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.












