පසුගිය දින කිහිපයේ රුපියල් 80 – 100 අතර පැවති කොමඩු තොග මිල මේ වන විට රුපියල් 30 – 40 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොමඩු ගොවීන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිති. තඹුත්තේගම හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානවලින් පවා තම අස්වැන්න සඳහා සාධාරණ ඉල්ලුමක් නොමැති වීම ගොවීන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත.
තිරප්පනේ ප්‍රදේශයේ සෙම්බුකුලම, වළගම්බාහුව, මාවතවැව ඇතුළු ගම්මාන රැසක ගොවීන් පවසන්නේ ඉහළ ගිය වගා වියදම් සහ ඩීසල් මිල හමුවේ මෙම මිල ගණන් යටතේ අස්වනු අලෙවි කිරීමෙන් නිෂ්පාදන වියදම පවා පියවා ගත නොහැකි බවයි. මීට අමතරව වැසි සහිත කාලගුණය සහ වන අලි තර්ජන හේතුවෙන්ද වගාවන් රැකගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බව ගොවීන් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ කොමඩු ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බීජ, පොහොර සහ අනෙකුත් නිෂ්පාදන යෙදවුම් සාධාරණ මිලකට ලබා දීමට වැඩපිළිවෙළක් සකසන ලෙසත්, අවම වශයෙන් 50% ක දායකත්වයක් යටතේ වගා උපකරණ සහ නවීන තාක්ෂණික යෙදවුම් කට්ටල සහන මිලකට ලබා දෙන ලෙසත්ය. එසේම වී ගොවීන් මෙන්ම ගොඩ භෝග වගාකරන ගොවීන් සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. පවතින වැසි සහිත කාලගුණය සහ වෙළඳපළට වෙනත් පලතුරු වර්ග පැමිණීම කොමඩු මිල පහත වැටීමට බලපාන්නට ඇති බව ගොවීන්ගේ මතයයි.
















