බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව හා නැඟෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මේ අතර, ඊයේ (15) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.4ක් ලෙස පොතුවිල් කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
වර්ෂා තත්ත්වය අඩු වීම හේතුවෙන් නිල්වලා, ගිං, කළු, කැලණි, අත්තනගලුඔය සහ මහ ඔය යන ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වුවත් කළු ගඟේ මිල්ලකන්ද ජල මධ්‍යස්ථානයේ ජල මට්ටම ඊයේ පෙරවරුව වන විට යම්කිසි ඉහළ අගයක පැවතිණි. මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. එමෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-2.5 පමණ ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය.
















