ආරක්ෂිත පක්ෂි විශේෂ සන්තකයේ තබාගෙන නීති විරෝධී ලෙස කුරුලු ජාවාරමක නිරත වූ 27 හැවිරිදි ව්‍යාපාරිකයෙකුට රුපියල් 20,000ක දඩයක් නියම කළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය ජූනි 14 වනදා රුවන්වැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, ආරක්ෂිත පක්ෂි විශේෂයක් වන “තිත් පූරාවන්” (Tri-colored Munia) 64 දෙනෙකු සහ ගිරවෙකු සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ත්‍රිකුණාමලය, මුතූර් සහ වවුනියාව වැනි ප්‍රදේශවලින් දීර්ඝ කාලයක තිස්සේ මෙම කුරුල්ලන් අල්ලාගෙන විකිණීම සඳහා රුවන්වැල්ලට ප්‍රවාහනය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර, සැකකරු මීට පෙර ද මෙවැනි ජාවාරම්වලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇත. රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු වරද පිළිගත් අතර, ඒ අනුව රුපියල් 20,000ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා, බේරාගත් පක්ෂීන් හොරගොල්ල ජාතික උද්‍යානයට මුදාහැර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස වනජීවී නිලධාරීන්ට නියෝග කළේය.
















