විල්පත්තුව ජාතික වන උද්‍යානයේ රාත්‍රී මුර සංචාරයක නිරත වෙමින් සිටි වනජීවී අඩවි සහකාර නිලධාරියෙකු වල් ඌරු ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා තිබේ. අද (30) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ නිලධාරියා මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
එළුවන්කුලම වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියා තවත් නිලධාරීන් තිදෙනෙකු සමඟ උද්‍යානයේ පොම්පරිප්පුව ප්‍රදේශයේ පා ගමනින් මුර සංචාරයේ නිරත වෙමින් සිටියදී වන සත්වයා මොහු වෙත කඩා පැන තිබේ. එහිදී වල් ඌරාගේ දළවලින් පහර දී සපා කෑම හේතුවෙන් නිලධාරියාගේ පාදවලට බරපතල හානි සිදුව ඇති බව වාර්තා වේ. වනජීවී නිලධාරීන් වන සතුන්ගෙන් මෙන්ම දඩයම්කරුවන්ගෙන් එල්ල වන තර්ජන හමුවේ සිය රාජකාරි ඉටු කරන අතරතුර මෙවැනි අනතුරුවලට මුහුණ දීම පිළිබඳව වනජීවී සංගම් සිය අවධානය යොමු කර ඇත.














