27 April 2024
#දේශීය

පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීමට ගත් තීරණය හකුලා ගන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින වැඩිවෙන මෙම අවස්ථාවේ බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට කටයුතු කලහොත් පාරිභෝගිකයින් දැඩි අසීරුතාවයකට පත් වන බවත් මිල වැඩි කිරීමට ගත් තීරණය වහා හකුලා ගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය පවසා සිටින‍්නේ මිනිසුන් හුස්ම ඉල්ලා මහමග වැද වැටෙද්දී හා රෝහල් මෘත ශරීරාගාර පිරී යද්දී බේකරි හිමියන් විසින් පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුක්තව හෙළාදකින අතර ඔවුන්ට නිෂ්පාදන අමුද්‍රව්‍ය පිළිබදව කිසියම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබදව රජය සමග සාකච්ඡා කරන ලෙසද ඉල්ලා සිටි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට නිසි ප්‍රමිතියෙන් යුක්ත පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් මිලදී ගැනීමට තවම අවස්ථාවක් නැති අතර විවිධ කඩවල අලෙවි කරන පාන් බනිස් වල මිල හා බර විවිධාකාරය බව එම සංවිධානය අනාවරණ කර සිටි.

තත්වය එසේ තිබියදී එම භාණ්ඩවල මිල පමණක් වැඩි කිරීමට සෑම විටම අදාල සංගමය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක වන අතර එකී නිෂ්පාදන වල ප්‍රමිතිය පිළිබදවද සොයා බැලීමට කටයුතු කල බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසා සිටි.

වර්තමාන කොවිඩ් තත්වය පිළිබදව සළකා බලා එළබෙන සදුදා සිට පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට ගත් තීරණය වහා හකුලා ගන්නා ලෙස අපි බේකරි හිමියන්ගේ සංගමයෙන් මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් තවදුරටත් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් කියා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *