කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන” යටතේ විශේෂ ව්‍යාපෘති මාලාවක් ආරම්භ කර තිබේ. ඒ සඳහා 2026 අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ මධ්‍යම මට්ටමේ ව්‍යවසායිකාවන් ඉහළ මට්ටමට ඔසවා තැබීම, දේශීය හා විදේශීය වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීම සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයෙන් කාන්තාවන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමයි. තවද රැකියා විරහිත තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කිරීම සහ හිංසනයට ලක්වූ කාන්තාවන් සඳහා සුබසාධනය සැලසීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
ප්‍රතිලාභීන් ජීවනෝපාය සංවර්ධනය සහ ව්‍යවසායකත්ව සංවර්ධනය යන කාණ්ඩ දෙක යටතේ හඳුනාගැනේ. විශේෂයෙන් ‘දිවි සරණි’ සහ ‘දිරිය මං පෙත’ ව්‍යාපෘති හරහා වැන්දඹු සහ කාන්තා ගෘහ මූලිකයින්, වතු, ධීවර, ග්‍රාමීය හා නාගරික යන සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන් මෙන්ම අර්බුදවලට ලක්වූ සහ නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල්වලට හසු වූ කාන්තාවන් ද ආවරණය කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි.
















