ලොව පුරා මිලියන සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම උදෙසා කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කරන මානුෂීය වීරයන් ඇගයීමට ලක් කෙරෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදට (14) යෙදී තිබේ. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම දිනය වෙනුවෙන් “මනුෂ්‍යත්වය වෙනුවෙන් එක් ලේ බිඳුවක්.. ලේ දන් දෙන්න. ජීවිත බේරා ගන්න” යන තේමාව ප්‍රකාශයට පත් කර ඇත.
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ රුධිර පාරවිලයනය අතීතයට වඩා බෙහෙවින් ආරක්ෂිත වී තිබුණ ද, ආරක්ෂිත රුධිර සැපයුම තවදුරටත් රඳා පවතින්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන් මත පමණි. විශේෂයෙන්ම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල තවමත් ආරක්ෂිත රුධිරය සහ රුධිර නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීම විශාල අභියෝගයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
රුධිර වර්ගීකරණය සොයා ගනිමින් වෛද්‍ය විද්‍යාව තුළ විප්ලවීය වෙනසක් සිදු කළ ඔස්ට්‍රියානු ජාතික විද්‍යාඥ කාල් ලෑන්ඩ්ස්ටයිනර් මහතාගේ උපන්දිනයට ගෞරවයක් වශයෙන් සෑම වසරකම ජූනි 14 වැනිදා මෙම දිනය සමරනු ලබයි. 1930 වසරේදී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ එම විද්‍යාඥයාගේ දායකත්වය සිහිපත් කරමින්, ආරක්ෂිත රුධිරය සැමට ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් අද දින ලොව පුරා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
















