ජාත්‍යන්තර සාගර දිනය අදට (08) යෙදී ඇති අතර, “අපගේ නිල් ග්‍රහලෝකය සඳහා ශක්තිමත් සමුද්‍ර ආරක්‍ෂිත කලාප” යන්න මෙවර එහි තේමාව වී තිබේ. 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදී ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ප්‍රථම වරට අවධානය යොමු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2008 වසරේ ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
සාගර දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික වැඩසටහන අද දින බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම සැමරුම් උත්සවය පරිසර අමාත්‍ය ධම්මික පටබැදිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
සමුද්‍ර පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ලොවට පසක් කර දීම සහ සාගර සම්පත් රැකගැනීම පිළිබඳව සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම දිනය සැමරීමේ මූලික අරමුණ වේ. සාගරයේ පැවැත්ම මත පෘථිවියේ සමස්ත පාරිසරික සමතුලිතතාවය රඳා පවතින බැවින්, සමුද්‍රීය කලාප ආරක්ෂා කරගැනීම උදෙසා ගනු ලබන පියවරයන් කෙරෙහි මෙවර දිනයේදී විශේෂ අවධානයක් යොමු වී ඇත.















