සොරකම් කරන ලද යතුරුපැදි භාවිත කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක කාන්තාවන් ඉලක්ක කර රන්මාල කොල්ලකෑමේ නිරත වූ පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මාස කිහිපය තුළ මහරගම, හෝමාගම, මීගොඩ, මිරිහාන, කොට්ටාව, මාලඹේ සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලදී කාන්තාවන්ගේ රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි රැසක් ලැබී තිබිණි. සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී:
සොරකම් කරන ලද යතුරුපැදි 2ක්.
කොල්ලකන ලද වටිනා රන්මාල 18ක් (රුපියල් ලක්ෂ 80කට අධික වටිනාකමකින් යුත්).
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 800ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මත්ද්‍රව්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මොහු මෙම අපරාධ මාලාව සිදුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














