චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105 වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී විශේෂ දේශනයක් පවත්වමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ, ගතවූ වසර 105 තුළ චීනය අත්පත් කරගත් සමස්ත ජයග්‍රහණ සඳහා පක්ෂයේ පාරම්පරික සාමාජිකයන්ගේ අභිමානවත් නායකත්වය සහ ජනතාවගේ කැපවීම ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි.
මාවෝ සේතුං, ඩෙන් ෂියාඕපින්, ජියෑන් සෙමින් සහ හූ ජින්ටාඕ වැනි හිටපු නායකයන් චීන ජාතියේ පුනරුත්ථාපනය උදෙසා ලබාදුන් දායකත්වය ජනාධිපතිවරයා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළේය. ජනතාව ඉතිහාසයේ සැබෑ නිර්මාතෘවරුන් සහ වීරයන් බව අවධාරණය කළ හෙතෙම, විවිධ ක්ෂේත්‍රවල වෙහෙස මහන්සි වී සේවය කරන සමස්ත ජනතාවට තම කෘතඥතාව පිරිනැමීය.
චීන කොමියුනිස්ට් පක්ෂය සතු සුවිශේෂී ගුණාංග අනෙකුත් දේශපාලන පක්ෂවලට නොමැති බවත්, පක්ෂයේ අඛණ්ඩ ජයග්‍රහණවලට එය ප්‍රධාන හේතුව බවත් ඔහු සඳහන් කළේය. නව යුගයේ සහ නව ගමනේදී පක්ෂයේ මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා සියලු සාමාජිකයන් තම විශ්වාසය තහවුරු කරගෙන ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් කැපවිය යුතු බවද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















