පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සහ අධික උෂ්ණත්වය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I සහ II කලාප එළඹෙන 2026 සැප්තැම්බර් මස 14 වන දින සිට ඔක්තෝබර් මස 15 වන දින දක්වා මාසයක කාලයකට සියලුම සංචාරකයින් සඳහා තාවකාලිකව වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ අවම වර්ෂාපතනයක් ලබන යාල උද්‍යානයේ මෙම කලාප, වාර්ෂිකව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පවතින දැඩි නියඟය හේතුවෙන් සතුන්ට ඇතිවන තාප ආතතිය (Heat Stress) අවම කිරීම පිණිස මෙලෙස වසා තැබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක උපදෙස් මත සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඇතුළු ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.
මෙම වසා තබන කාලසීමාව තුළ නියඟයෙන් පීඩාවට පත් සතුන් උදෙසා අඛණ්ඩව ජලය සැපයීම, ස්වාභාවික වැව් හා පොකුණු ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ප්‍රවේශ මාර්ග සහ සංචාරක නිවාසවල නඩත්තු කටයුතු සිදු කෙරෙන අතර, අදාළ කලාපවලට ඇතුළුවීමට අවසර හිමිවන්නේ වනජීවී නිලධාරීන්ට සහ කාර්ය මණ්ඩලයට පමණි. සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා නියඟයේ දැඩි පීඩනයට ලක්ව නොමැති III, IV, V සහ VI යන කලාප දෙස් විදෙස් සංචාරකයින් සඳහා බාධාවකින් තොරව විවෘතව පවතින අතර, උඩවලව, මින්නේරිය, කවුඩුල්ල, විල්පත්තුව වැනි අනෙකුත් වනෝද්‍යාන වෙත යොමුවන ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.














