යුක්රේනයට යුරෝපා සංගමයේ (EU) “සංකේතාත්මක” හෝ අර්ධ සාමාජිකත්වයක් අවශ්‍ය නොවන බවත්, එරටට හිමිවිය යුත්තේ පූර්ණ සාමාජිකත්වය පමණක් බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අවධාරණය කරයි.
සයිප්‍රස් හි පැවැත්වෙන නිල නොවන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා යන අතරතුර මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
යුක්රේනය සඳහා යුරෝ බිලියන 90ක ණය මුදලක් අනුමත වීම සහ රුසියාවට එරෙහි නව සම්බාධක පැනවීමත් සමඟ, යුක්රේනයේ යුරෝපා සංගම් සාමාජිකත්වයට එරෙහිව හංගේරියාව පනවා තිබූ නිෂේධ බලය (Veto) ඉවත් කර ගැනීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇත. විශේෂයෙන්ම හංගේරියාවේ නව රජයක් බලයට පත්වීමට සූදානම් වීම මෙම බලාපොරොත්තු ඉහළ නැංවීමට හේතු වී තිබේ.
යුක්රේනය යුරෝපය ආරක්ෂා කරන්නේ සංකේතාත්මකව නොව සිය වැසියන්ගේ ජීවිත පූජා කරමින් සැබෑ ලෙසම බවත්, එබැවින් හිමිවිය යුත්තේ ද පූර්ණ සාමාජිකත්වය බවත් සෙලෙන්ස්කි මහතා පෙන්වා දුන්නේය. යුක්රේනය යම්කිසි අර්ධ සාමාජිකත්වයකින් සෑහීමකට පත් නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














