යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර තීරණාත්මක හමුවක් අද (අප්‍රේල් 14) බර්ලින් නුවරදී පැවැත්වේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එරටින් ලැබෙන සහයෝගය අඩුවෙමින් පවතින පසුබිමක, යුක්‍රේනයට සහය දක්වන ප්‍රධානතම රාජ්‍යය බවට ජර්මනිය පත්ව තිබීම මෙම සංචාරයේ විශේෂත්වයයි.
දෙරටේ රජයන් අතර උපදේශන සාකච්ඡා අද චාන්සලර් කාර්යාලයේදී ආරම්භ වූ බව ජර්මානු රජයේ ප්‍රකාශකයෙකු තහවුරු කළේය. ඇමෙරිකාව මැදිහත් වී පවත්වන ලද සාම සාකච්ඡා මේ වන විට ඇණහිට ඇති අතර, රුසියාවට භූමිය පවරා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා යුක්‍රේනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම හමුවේදී යුක්‍රේනයට අවශ්‍ය යුධ සහාය සහ නවීන ඩ්‍රෝන තාක්ෂණය හුවමාරු කර ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වීමට නියමිතය.
මීට සමගාමීව යුක්‍රේන සරණාගතයන් වෙනුවෙන් බර්ලින්හි පිහිටුවා ඇති ‘Unity Hub’ මධ්‍යස්ථානයේදී දෙරටේ අමාත්‍යවරුන් අතර සාකච්ඡා ද පැවැත්වේ. එසේම හෙට (අප්‍රේල් 15) බර්ලින් නුවරදී නේටෝ (NATO) ප්‍රධානී මාර්ක් රූට් (Mark Rutte) සහ යුක්‍රේනයේ මිත්‍ර රටවල ආරක්ෂක අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතව ඇත.














