27 April 2024
#සංවර්ධන

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමට පියවර ගන්නා බව ඇමැතිනි පවිත්‍රා කියයි

දැඩි රෝගී තදබදයක් පවතින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සියලු පහසුකම් සහිත නවීන රෝහලක් බවට පත් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

එසේම මෙම රෝහල තව නොබෝ දිනකින් සබරගමු පළාත් සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට කටයුතු යොදන බව සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඇඹිලිපිටිය රෝහලේ පවතින මානව හා භෞතික සම්පත් සහ අනෙකුත් අවශ්‍යතාවයන් සොයා බැලීම සදහා ඊයේ දින (15) එම රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකවට එක්වෙමිනි.

රත්නපුර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලින් විශාල රෝගීන් සංඛ්‍යාවක් මෙම රෝහලෙන් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට පැමිණෙන බැවින් මෙම රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමට කටයුතු යොදන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම සංචාරයේ දී ඇඹිලිපිටිය රෝහලේ ක්ෂණික අවශ්‍යතාවයන් පිළිබදව අවධානය යොමු කොට එම අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා අවශ්‍ය ලක්ෂ 750 ක මුල්‍ය පරිත්‍යාගයක් ද ලබාදෙන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය “රත්නපුර දිස්ත්‍රික්කයට සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ලැබුන වේලාවේ මෙම රෝහල ලංකාවේ තිබෙන දියුණුම රෝහලක් බවට පත් කිරීමට මම කටයුතු කරනවා. රෝහල් කමිටුවේ හා කාර්ය මණ්ඩලයේ ඉල්ලීමක් තිබුනා මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගන්න කියලා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යධූරයට මා පත් වූ පසු ඒ සදහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරිමට පියවර ගත්තා. පළාත් ආණ්ඩුකාරතුමාගෙන් විමසා සිටියා මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අවසර දෙනවා ද කියලා. එතුමා දැනුම් දී තිබෙනවා මධ්‍යම රජයට මෙම රෝහල පවරා ගැනීමට විරුද්ධත්වයක් නැති බව. ඒ අනුව මීලග කැබිනට් මණ්ඩලයේ දි මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, කොළොන්න පොදුජන පෙරමුණ ආසන සංවිධායක ශනී රෝහණ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *