ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කර තිබූ දෙවන විමලධර්මසූරිය රජු විසින් පූජා කරන ලද පෞරාණික ඝන රිදී සහ රන් ආලේපිත කරඬුව ඉවත් කර වෙනත් නව කරඬුවක් ආදේශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව හිටපු දියවඩන නිලමේවරයා පෙන්වා දෙයි. මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා මෙන්ම දියවඩන නිලමේවරයා ද දළදා මාලිගාවේ උරුමයන්හි තාවකාලික භාරකරුවන් පමණක් වන බැවින්, විහාර දේවාලගම් පනත සහ පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් මෙවැනි ඓතිහාසික වස්තූන් හිතුමතේ වෙනස් කිරීමට කිසිදු පාර්ශ්වයකට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැත.
රජවරුන් විසින් පූජා කරන ලද ජාතික හා ආගමික උරුමයන් සංරක්ෂණය කරනවා වෙනුවට ඒවා හිතූමතේ ඉවත් කිරීම තුළින් සමස්ත බෞද්ධ ප්‍රජාවගේ මෙන්ම ජාතියේම සංස්කෘතික අනන්‍යතාවයට බරපතළ බලපෑමක් එල්ල වන බව හෙතෙම පෙන්වා දෙයි. අතීතයේ දැඩි රාජකීය ආරක්ෂාව මධ්‍යයේ නිර්මාණය වූ මෙම පෞරාණික වස්තුවේ යම් දෝෂයක් පැවතියේ නම් කළ යුතුව තිබුණේ එය විද්‍යාත්මකව ප්‍රතිසංස්කරණය කිරීම මිස, කිසිදු නිසි අනුමැතියකින් තොරව එය ඉවත් කර පිටතින් සකස් කළ කරඬුවක් තැන්පත් කිරීම නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අර්බුදය සැහැල්ලුවට නොගත යුතු ජාතික ගැටළුවක් බව පවසන නෙරංජන් විජයරත්න මහතා, ඉවත් කරන ලද මුල් පෞරාණික කරඬුව වහාම යළි යථාස්ථානයේ තැන්පත් කිරීමට බලධාරීන් වගබලා ගත යුතු බව අවධාරණය කරයි. ජාතිය සතු මෙම අමිල පුරාවිද්‍යාත්මක හා ආගමික උරුමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පටන් මහා සංඝරත්නය සහ මුළුමහත් බෞද්ධ ජනතාවම එක්ව ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ ඇත.














