චීනයේ බීජිං නුවර පැවැති 20 වැනි ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ලෙස සහභාගී විය. මෙරට දේශගුණික කලාප හතක වගා කෙරෙන ලංකා තේවලට ආවේණික වූ අද්විතීය රසය සහ උසස් ගුණාත්මය ජාත්‍යන්තර වෙළෙඳපොළ හමුවේ ප්‍රදර්ශනය කිරීමට මෙහිදී අවස්ථාව හිමිවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඇමතූ චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා, ශ්‍රී ලංකා තේ සතු ප්‍රබෝධමත් ස්වභාවය සහ ගෝලීය පිළිගැනීම පිළිබඳව අමුත්තන් දැනුවත් කළේය. දින 4ක් පුරා පැවැති මෙම දැවැන්ත ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තේ සමාගම් කිහිපයක් ද එක්ව සිටි අතර, චීන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නව සබඳතා ඇති කර ගැනීමට ඔවුන්ට හැකි විය. ප්‍රදර්ශන කුටි 1,300කට අධික සංඛ්‍යාවක් සහිත මෙම වැඩසටහන හරහා ලංකා තේ සඳහා ඇති ජාත්‍යන්තර ඉල්ලුම තවදුරටත් ඉහළ නැංවීමට මඟ පෑදී තිබේ.














