එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ බීජිං නුවරදී පැවැත්වීමට නියමිතය. තායිවානය සිය අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කළද, එය චීන සමූහාණ්ඩුවට අයත් භූමියක් බව චීනය දිගින් දිගටම පවසා සිටින පසුබිමක තායිවාන අර්බුදය මෙම සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වනු ඇත.
1949 වසරේදී මාඕ සේතුංගේ කොමියුනිස්ට් පක්ෂය චීන සිවිල් යුද්ධයෙන් ජයගෙන බීජිංහි බලය තහවුරු කරගත් අතර පරාජයට පත් වූ චියැං කායි-ෂෙක්ගේ රජය තායිවානය වෙත පලා ගියේය. 1950 වසරේ කොරියානු යුද්ධය ආරම්භ වීමත් සමඟ තායිවානය එක්සත් ජනපදයේ සමීප මිත්‍රයෙකු බවට පත් වූ අතර චීන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා තායිවාන සමුද්‍ර සන්ධියේ සිය නාවික බල ඇණිය යෙදවීමට ද එක්සත් ජනපදය පියවර ගත්තේය.
1954 සිට 1955 දක්වා පැවති පළමු තායිවාන සමුද්‍ර සන්ධි අර්බුදයේදී චීනය විසින් තායිවාන පාලනයේ පැවති දූපත් කිහිපයකට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදී. මෙහිදී තායිවානයට ඇතැම් දූපත්වල පාලනය අහිමි වූ අතර එහි සිටි හමුදා සහ වැසියන් ප්‍රධාන දූපත වෙත රැගෙන යාමට සිදු විය. අනතුරුව 1958 වසරේ පැවති දෙවන තායිවාන සමුද්‍ර සන්ධි අර්බුදයේදී ද චීනය මාස කිහිපයක් තිස්සේ තායිවානය සතු කිංමෙන් (Kinmen) සහ මට්සු (Matsu) දූපත්වලට දැවැන්ත ප්‍රහාර එල්ල කළද, එක්සත් ජනපදය ලබා දුන් අවි ආයුධ ආධාරයෙන් චීනයට එම දූපත් අත්පත් කර ගැනීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට තායිවානය සමත් විය.














