තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් සහ විධායක සභිකයකු වන බැවින් තමන්ව ස්ථාන මාරු කිරීම නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සහ එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම අද (12) ඉල්ලා අස්කර ගෙන තිබේ. වසර 11ක කාලයක් බදුල්ල මහ රෝහලේ සේවය කර ඇති වෛද්‍යවරයාට ලැබුණු මෙම ස්ථාන මාරුවට එරෙහිව කොළඹ අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණි.
නඩු විභාගයේදී අනාවරණය වූ පරිදි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මැයි 01 වනදා තමන්ට අදාළ ලිපිය ලැබීමෙන් පසු මැයි 02 වනදාම බදුල්ල රෝහලේ සිට බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය වෙත සේවයට වාර්තා කර ඇත. අද දින නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය විසින් නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන නොයෑමට තීරණය කළ අතර ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු මණ්ඩලය නියෝජනය කරන පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.















