මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන් ප්‍රතිලාභ ලබන සිසුන් එම අවස්ථාව තමන්ට ලැබුණු පෞද්ගලික වරප්‍රසාදයක් ලෙස පමණක් නොසලකා උසස් අධ්‍යාපනය හරහා රටට සේවයක් කිරීමට අවස්ථාවක් කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය. “මගෙන් මහපොළට – මහපොළෙන් දරුවන්ට” යන තේමාව යටතේ මහපොළ ආදි විද්‍යාර්ථ වෙබ් අඩවිය (www.alumini.mahapola.lk) එළිදැක්වීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී ඇය මේ බව සඳහන් කළාය.
මහපොළ අරමුදල හරහා අධ්‍යාපනය ලබා දැනට දේශීය හා විදේශීය වශයෙන් විවිධ වෘත්තීන්හි නියැලෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දායකත්වය සහ අත්දැකීම් අනාගත පරපුරේ උන්නතිය වෙනුවෙන් ලබාගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මහපොළ ශිෂ්‍යත්ව මාසික දීමනාව රුපියල් 5,000 කින් වැඩි කර රුපියල් 10,000 ක් දක්වා ඉහළ නංවා ඇති බවත් වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී පැවසීය. හිටපු පාලකයන් විසින් වැරදි ගිවිසුම් හරහා වෙනත් පාර්ශවවලට පවරා ඇති මහපොළ අරමුදලට අයත් අධ්‍යාපන ආයතන සහ ආදායම් මාර්ග නැවත අරමුදලට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයට 98% ක සිසුන් පිරිසක් ඇතුළත් වුවද උසස් අධ්‍යාපනයට පිවිසෙන්නේ ඉතා සුළු පිරිසක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය රටේ අනාගත නායකත්වය බිහිකිරීම සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළාය.














