කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බවට පැතිර යන මතයන් වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රතික්ෂේප කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අවධාරණය කළේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් වරාය අමාත්‍යාංශය හෝ වරාය අධිකාරිය තුළ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවයි.
රජය එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති වුවද, විවිධ ආයෝජන යෝජනා ඉදිරිපත් වන බවත් ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය විවෘතව සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය. යම් හෙයකින් අනාගතයේදී මෙම පර්යන්තය ආයෝජකයෙකුට පිරිනැමීමට තීරණය කරන්නේ නම්, එය මහජනතාව සහ වරාය සේවකයන් සමඟ සාකච්ඡා කර, රජයට සහ රටට උපරිම වාසි සැලසෙන ව්‍යාපාරික සැලැස්මක් යටතේ පමණක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















