පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට පෙර ඒ පිළිබඳ පූර්ව දැනුවත්වීමක් තිබියදීත්, යුද්ධ හමුදා බුද්ධි අංශය තොරතුරු සඟවා ප්‍රහාරය සිදුවීමට ඉඩ හැර නිහඬව සිටි බවට කරුණු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කරුණු ඉදිරිපත් කළේය.
එහිදී සුරේෂ් සලේ මහතා දින 100ක පමණ කාලයක් වෛද්‍ය නිවාඩු ලබා සිටීම සම්බන්ධයෙන්ද දිලීප පීරිස් මහතා ප්‍රශ්න කළ අතර, එම තත්ත්වය විමර්ශන අඩපණ කිරීමට සහ ඔහුගේ හාම්පුතුන් ආරක්ෂා කිරීමට සිදුකරන ක්‍රියාවක් බවට චෝදනා කළේය.
සුරේෂ් සලේ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වයට අදාළ වෛද්‍ය වාර්තා මෙතෙක් අධිකරණයට ලැබී නොමැති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරයට පෙර අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් ආරක්ෂක අංශ වෙත ලැබී තිබූ බවයි.
එම තොරතුරු අනෙකුත් ආරක්ෂක අංශ සමඟ නිසි පරිදි හුවමාරු නොකළ බවටද ඔහු කරුණු දැක්වීය.
එමෙන්ම වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සහ සයින්දමරුදු සිද්ධිය සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකරන බව අධිකරණයට දැනුම් දී තිබේ.
මේ අතර, සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ අධිකරණයට ඉදිරිපත් වන බී වාර්තාවල සඳහන් කරුණු පමණක් සාක්ෂි ලෙස සැලකිය නොහැකි බවයි.
සිය සේවාදායකයා සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාදාමයක් යටතේ වෛද්‍ය වාර්තා කැඳවන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට නොතීසි නිකුත් කළේය.
නීති කෘත්‍යය යළි සැප්තැම්බර් 22 වැනිදා කැඳවීමට නියමිතය.













