ආසියානු රටවල් සඳහා වන 15 වැනි IMF – ජපාන ඉහළ පෙළේ බදු සමුළුවට සහභාගි වීම සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබේ. ජපානයේ ටෝකියෝ නුවරදී අද (17) සහ හෙට (18) යන දෙදින පැවැත්වෙන මෙම සමුළුව සඳහා ආසියානු කලාපයේ ප්‍රතිපත්ති සම්පාදකයන්, ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් සහ ජාත්‍යන්තර විශේෂඥයන් රැසක් එක්වීමට නියමිතය.
ආසියානු කලාපයේ බදු ප්‍රතිපත්ති සහ බදු පරිපාලනය පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙන මෙම සමුළුවේදී දේශීය ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම, බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර බදුකරණයේදී මතුවන අභියෝග පිළිබඳව අත්දැකීම් හුවමාරු කර ගැනීමට නියමිතය. රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය සහ සියලු දෙනා ඇතුළත් ආර්ථික වර්ධනය සඳහා බදුකරණ ධාරිතාව, කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය ඉහළ නංවා ගැනීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන අතර, මෙමඟින් ශ්‍රී ලංකාවට කලාපීය පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වෙමින් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය බදු ප්‍රතිපත්තිමය අදහස් හුවමාරු කර ගැනීමට මහත් අවස්ථාවක් උදාවන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.














