කොළඹ මෙට්‍රෝ බස් සේවය සැප්තැම්බර් මස අග වන විට පුළුල් කිරීමට අපේක්ෂා කර ඇති අතර, ඒ සඳහා කොළඹ සහ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි සැළසුම් කර ඇති නව බස් ජාලයේ මාර්ග සිතියම් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එළිදක්වා තිබේ. මගීන්ට ආරක්ෂිත සහ සුවපහසු ගමන් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් මෙම සේවාව පුළුල් කරන බව අමාත්‍යවරයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා ඇත.
‘ලංකා මෙට්‍රෝ ට්‍රැන්සිට්’ (Lanka Metro Transit) වෙළඳ නාමය යටතේ නිකුත් කර ඇති මෙම මාර්ග සිතියම් මඟින් කොළඹ ප්‍රධාන උප නගර සහ ප්‍රවාහන මධ්‍යස්ථාන සම්බන්ධ කරමින් සේවා 7ක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මාකුඹුර සිට පිටකොටුව, මිලේනියම් සිටි සිට කොළඹ කොටුව, කඩවත සිට මාකුඹුර, දෙමටගොඩ සිට පානදුර, බත්තරමුල්ල සිට ඒකල, කොල්ලුපිටිය වට රවුම් මාර්ගය සහ කහතුඩුව සිට පිටකොටුව/SLIIT දක්වා වන මාර්ග මීට ඇතුළත් වේ. මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල, මාලබේ, දෙහිවල, මොරටුව සහ ජා-ඇල ඇතුළු ප්‍රධාන ප්‍රදේශ රැසක් මෙම ජාලය මඟින් ආවරණය වන අතර, ඉදිරි දිනවලදී මෙම සේවාවන් ක්‍රියාත්මක වීමට නියමිතය.














