සවුදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වය හමුවේ එරට වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසු වන ලෙස ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හදිසි දැනුම්දීමක් කර තිබේ. ජංගම දුරකථන වෙත හදිසි අනතුරු ඇඟවීමේ සංඥා ලැබෙන අවස්ථාවලදී වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත්, ගොඩනැඟිලි තුළ රැඳී සිටිමින් ජනේල, වීදුරු, බැල්කනි සහ වහලවලින් ඈත්ව ආරක්ෂිත ස්ථාන තෝරා ගන්නා ලෙසත් දන්වා ඇත.
එළිමහනේ සිටී නම් ළඟම ඇති ආරක්ෂිත ගොඩනැඟිල්ලකට ඇතුළු වීමට හෝ ශක්තිමත් බිත්තියකට මුවා වීමටත්, ජනතාව ඒකරාශි වන ස්ථානවලට යෑමෙන් වැළකීමටත්, රථවාහන පදවමින් සිටින්නේ නම් වාහනය මාර්ගයේ පසෙකට ගෙන පාලම් සහ උස් ගොඩනැඟිලිවලින් ඈත්ව සිටින ලෙසත් උපදෙස් දී තිබේ. යම් යම් සිදුවීම් ඡායාරූපගත කිරීම, වීඩියෝ කිරීම, සමාජ මාධ්‍ය වෙත එක්කිරීම හෝ අදහස් දැක්වීමෙන් වළකින ලෙසත්, තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය නොකර බලධාරීන්ගේ නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙසත් ඉල්ලා සිටී. හදිසි අවස්ථා සඳහා මක්කා සහ මදීනා කලාප සඳහා 911 අංකයද, අනෙකුත් ප්‍රදේශ සඳහා 998 අංකයද, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි සම්බන්ධතා අංකය ලෙස 056 098 6671 අංකයද භාවිත කළ හැකි බව දන්වා ඇත.














