අපට අලුත් ගමක් මෙන්ම අලුත් පුරවැසියකුද අවශ්‍ය නමුත්, පුරවැසි වගකීම අවබෝධ කර නොගෙන ආර්ථික සමෘද්ධියෙන් පමණක් ඉදිරියට යා නොහැකි බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ‘සෙමාවුල් ජාතික ඇගයීම් සහ ජාලකරණ සම්මන්ත්‍රණය 2026′ වෙත එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ග්‍රාමීය සංවර්ධනය හා ප්‍රජා බලගැන්වීම ඉලක්ක කර ගනිමින් පැවති මෙම සම්මන්ත්‍රණයේදී, ශ්‍රී ලංකාවේ ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන සමඟ ‘සෙමාවුල් උන්දොං’ සංවර්ධන ආකෘතිය සම්බන්ධ කරමින් ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථික හා සමාජීය මට්ටම ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. අතීත සමාජයේ පැවති ස්වයංපෝෂිත සහ සාමූහික සංවර්ධන සංකල්ප නැවත සක්‍රිය කරමින්, රටට අවශ්‍ය නව පුරවැසියා නිර්මාණය කිරීමේදී සෙමාවුල් ආකෘතිය හොඳ ආදර්ශයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අපේ සංස්කෘතිය තුළ පැවති ශ්‍රමදාන සහ අත්තම වැනි සාමූහිකත්වයන් මඟින් තනි පුද්ගලයකුගෙන් ආරම්භ කර මුළු සමූහයාගේම උන්නතිය උදෙසා කටයුතු කළ හැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














