රාජ්‍ය ආයතන, සංස්ථා හා මණ්ඩලවල සිදුවන දූෂණ හා වංචා අවම කරමින් රාජ්‍ය පාලනය වඩාත් විධිමත් කිරීමේ අරමුණින්, තෝරාගත් නිලධාරීන් 150 දෙනෙකුගෙන් සමන්විත විශේෂ විමර්ශන නිලධාරී සංචිතයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි පළාත් පාලන නියෝජ්‍ය ඇමැති රුවන් සෙනරත් මහතා පැවසීය. විධිමත් පුහුණුවකින් අනතුරුව රාජ්‍ය සේවයට එක්වන මේ නිලධාරී සංචිතය හරහා ඉදිරි කාලසීමාවේ සෑම රාජ්‍ය ආයතනයකම විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය. එම විමර්ශන කණ්ඩායමේ පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කළ නිලධාරීන් 51ක් සඳහා සහතිකපත් ප්රදානය කිරීම පසුගියදා නාරාහේන්පිට නිල මැඳුරු ශ්‍රවණාගාරයේදී පැවැති අතර, එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
















