මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා මාස තුනක ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා මෙම සහනය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15ක් ලෙස උපරිම ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතයි. ඒ අනුව මාස තුන සඳහා වෙන් කරන සමස්ත මුදල රුපියල් බිලියන 40.65ක්.
රජය සඳහන් කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සෘජුවම පාරිභෝගිකයන් මත පැටවීම වැළැක්වීම සහ ඉන්ධන මිල දැරිය හැකි මට්ටමක පවත්වා ගැනීම මෙම සහනාධාර වැඩසටහනේ අරමුණ බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම වැඩසටහන සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.
















