වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ නිවසකට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ තැන්පත් කර තිබූ සේප්පුවක් සොරාගත් බව කියන “වැල්ලවත්තේ උබයා” නමැති සැකකරු සහ තවත් පුද්ගලයෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පවුම් 39.5ක පමණ රන් භාණ්ඩ ඇතුළත් සේප්පුවක් සොරාගෙන ගොස් ඇති බවට එම නිවසේ පදිංචි නීතිඥවරියක් පසුගිය 24 වැනිදා වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර තිබුණා.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ “වැල්ලවත්තේ උබයා” නමැති සැකකරු නිවසේ උඩුමහලේ වහල කඩා ඇතුළු වී සේප්පුව රැගෙන ගොස් ඇති බවයි.
අවට නිවාසවල CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු ඇඳ ඇතිරිල්ලකින් සේප්පුව ආවරණය කර කරමත තබාගෙන රැගෙන යන දර්ශනද පොලිසිය සොයාගෙන තිබෙනවා.
පසුව වැල්ලවත්ත, කල්යාණි පාරේ නිවසකදී සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරාගත් රන් භාණ්ඩවලින් පවුම් 30ක පමණ ප්රමාණයක්ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
සේප්පුව සොරා ගැනීමෙන් අනතුරුව එය බොරලැස්ගමුව, වේරහැරවත්ත ප්රදේශයේ මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් කපා රන් ආභරණ පිටතට ගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සොරාගත් රන් භාණ්ඩවලින් කොටසක් බොරලැස්ගමුව ප්රදේශයේ රන් ආභරණ වෙළෙඳසැලකට උකස් කර හෙරොයින් මිලදී ගෙන ඇති බවත්, තවත් කොටසක් බණ්ඩාරගම අටළුගම ප්රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
එමෙන්ම සොරාගත් රන් භාණ්ඩවලින් ලැබුණු මුදලින් ඇඳුම් පැළඳුම් මිලදීගෙන ඇති අතර, රුපියල් 145,000ක මුදලක් සිය බැංකු ගිණුමට බැර කර ඇති බවද ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ප්රධාන සැකකරු මීට සති දෙකකට පමණ පෙර අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණි අයෙකු බවයි.
















