ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනය සහ ධාරිතා වර්ධනය කිරීම සඳහා බ්‍රසීලයේ තාක්ෂණික සහාය ලබාගැනීමට අදාළ සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර 2008 වසරේදී අත්සන් කළ මූලික තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කිරි නිෂ්පාදන සහ කිරි ආශ්රිත ක්ෂේත්රයන්හි සංවර්ධනය සඳහා බ්‍රසීල විශේෂඥයින්ගේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම මෙරටට ලබාගැනීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබෙනවා.
මේ සඳහා බ්‍රසීල විශේෂඥයින්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් 2023 වසරේදී ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර නිරීක්ෂණයකද නිරත වී ඇති අතර, එම නිරීක්ෂණ සහ ඉදිරිපත් කළ සංකල්ප පත්‍රිකා පදනම් කරගනිමින් සහයෝගිතා ගිවිසුම සකස් කිරීමට දෙපාර්ශ්වය කටයුතු කර තිබෙනවා.
බ්‍රසීල සහයෝගිතා නියෝජිත ආයතනය, විකොසා ෆෙඩරල් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා රජය එක්ව අදාළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එහිදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ව පියවරක් ලෙස ශ්‍රී ලංකා රජය සහ බ්‍රසීල රජය අතර අනුපූරක ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම සහයෝගිතාව හරහා මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ තාක්ෂණික දැනුම, පුහුණුව සහ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරෙනවා.
















