මධ්‍යම බැංකු වාර්තාවක උතුරු පළාතේ ජනගහනය ලෙස සඳහන් කර ඇති සංඛ්‍යාව සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රශ්න කර තිබෙනවා.
ඔහු සිය “X” ගිණුමේ පළ කළ සටහනක සඳහන් කර ඇත්තේ, “Country Profile – 2025” ලෙස දැක්වෙන වගුවක උතුරු පළාතේ ජනගහනය 557,000ක් ලෙස සඳහන් කර ඇති බවයි. එම සංඛ්‍යාව නිවැරදි නොවන බවටද ඔහු චෝදනා කර තිබෙනවා.
කෙසේ වෙතත්, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාව අනුව උතුරු පළාතේ ජනගහනය 1,150,148ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 5.3ක් ලෙස දැක්වෙනවා.
එම නිල සංගණන දත්ත අනුව යාපනය දිස්ත්‍රික්කයේ ජනගහනය 594,751ක්, මන්නාරමේ 123,756ක්, වවුනියාවේ 172,312ක්, මුලතිව්හි 122,619ක් සහ කිලිනොච්චියේ 136,710ක් ලෙස වාර්තා කර තිබෙනවා.
ඒ අනුව සුමන්තිරන් මහතා පෙන්වා දෙන 557,000ක සංඛ්‍යාවත්, 2024 නිල ජන සංගණනයේ දැක්වෙන 1,150,148ක සංඛ්‍යාවත් අතර සැලකිය යුතු වෙනසක් පවතිනවා.
















