යුක්රේන යුද්ධය වෙනුවෙන් දැවැන්ත ලෙස ඉහළ යමින් පවතින ආරක්ෂක වියදම් පියවා ගැනීම සඳහා රුසියාව විසින් ඊළඟ වසරේ රාජ්‍ය අයවැයෙන් සුභසාධන, අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ සඳහා වෙන් කෙරෙන අරමුදල් කප්පාදු කිරීමට තීරණය කර තිබේ. රොයිටර් පුවත් සේවය වෙත ලැබී ඇති මූල්‍ය ලේඛනවලට අනුව, 2027 වසරේ ආරක්ෂක අංශ වෙනුවෙන් රූබල් ට්‍රිලියන 17.1ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 202.58ක්) වියදම් කිරීමට රුසියාව සැලසුම් කර ඇති අතර, එය 2022 යුද්ධය ආරම්භ වීමෙන් පසු වාර්තා වන ඉහළම අගය වේ.
මෙම තත්ත්වය යටතේ රජයේ විශ්‍රාම වැටුප් සහ මාතෘ ප්රතිලාභ ආවරණය වන සමාජ ප්‍රතිපත්ති අරමුදල් සියයට 7කින්ද, අධ්‍යාපන අරමුදල් සියයට 6කින් සහ සෞඛ්‍ය සේවා අරමුදල් සියයට 6.8කින් ද කප්පාදු වනු ඇත. යුක්රේන යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් වෙනත් අවශ්‍යතාවලට වඩා ප්‍රමුඛතාව ලබා දිය යුතු බව බලධාරීන් පෙන්වා දෙන අතර, නව බදු වැඩිවීම් සහ උපයෝගීතා ගාස්තු ඉහළ නැංවීම් හේතුවෙන් ක්‍රෙම්ලින් හිතවාදීන් පවා අප්‍රසාදය පළ කර තිබේ.
















