වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් සඳහා සාධාරණ සහ යුක්තිසහගත බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. සමස්ත රාජ්‍ය බදු ආදායමට අහිතකර බලපෑමක් නොවන ආකාරයෙන්, විද්‍යාත්මක හා විශ්ලේෂණාත්මක යෝජනා කිහිපයක් මෙවර අයවැය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව එම සංගමය සඳහන් කරයි.
වත්මන් බදු ක්‍රමය යටතේ වැටුපෙන් සියයට 36කට ආසන්න ප්‍රමාණයක් සෘජු බදු ලෙස ගෙවීමට සිදුවීම හේතුවෙන් වෘත්තීයවේදීන් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බව ඔවුන් පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ මෙරට වටිනා මානව සම්පත රට තුළ රඳවා ගැනීමට තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත්, ඉදිරියේදී ශ්‍රී ලංකාව දැනුම් කාන්තාරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවද GMOA අවධාරණය කරයි.















