පික්මී කුලී ත්‍රී රෝද රථයකින් “යක්කල නාමල්” නමැත්තාගේ හෙරොයින් සහ අයිස් ප්‍රදේශය පුරා බෙදා හරින ලද ප්‍රධාන ජාවාරම්කරු සහ සහායකයා නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු පෞද්ගලික බුද්ධි තොරතුරක් මත සිදු කළ වැටළීමකදී, ජයසුන්දර පාරේ පිහිටි නිවසක සඟවා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 2450ක් සමඟ 38 හැවිරිදි පික්මී ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට මාස හතරකට ඉහතදී ප්‍රදේශයට මත්ද්‍රව්‍ය සැපයූ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසු, මෙම සැකකරු පික්මී කුලී රථ සේවාවක් මුවාවෙන් කොළඹ ප්‍රදේශයේ සිට දින තුනකට වරක් මත්ද්‍රව්‍ය රැගෙනවිත් නාවලපිටිය, ගිනිගත්හේන සහ ගම්පොළ ඇතුළු ප්‍රදේශවලට ලොකේෂන් ක්‍රමයට බෙදා හැරීම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම ජාවාරම පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා “ලොකේෂන්” ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා හැරීමට සහාය වූ තැපැල් කාර්යාලය පිටුපස මාර්ගයේ වෙළඳසැලක සහායකයෙකු ලෙස කටයුතු කළ 27 හැවිරිදි තරුණයෙකුද පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන ඇත. සාමාන්‍ය පික්මී ගාස්තුවට අමතරව එක් මත්ද්‍රව්‍ය ගමනක් සඳහා රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් මෙම ජාවාරම හරහා උපයා ඇති බව අනාවරණය වී ඇති අතර, සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















