තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්රදේශයේ හෝටලයක් හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදී ගංජා ළඟ තබාගෙන සිටි බවට සැක කෙරෙන පුද්ගලයෙකු අද (04) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තණමල්විල පොලිසිය සිදුකළ පරීක්ෂාවේදී හෝටලය අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන ගොස් ඇති බවටද අනාවරණය වී ඇති අතර, පරණ ආහාර සහ පරිභෝජනය සඳහා තිබූ අපිරිසිදු ජලය සම්බන්ධයෙන්ද පොලිසිය අවධානය යොමු කර තිබේ.
හෝටලය සෞඛ්යාරක්ෂිත නොවන තත්ත්වයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි. මෙම ස්ථානය දුරගමන් බස් රථ සඳහා ආහාරපාන සපයන ස්ථානයක් වන අතර, මීට පෙරද අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නඩු පවරා දඩ නියම කර ඇති බව වාර්තා වේ.














