සෞදි අරාබියේ මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ නීතීඥ කණ්ඩායමක් ඔක්තෝබර් 6 වැනිදා සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. එහිදී ඔහුගේ මරණ දඬුවම ලිහිල් කිරීම හෝ වෙනත් නීතිමය සහනයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නියමිතය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ අසාඩ් නවාවිගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතීඥ හෆීල් ෆාරිස් ඇතුළත් වේ. ඔවුන් සෞදි අරාබියේ අනෝජන්ගේ නඩුව සම්බන්ධයෙන් කටයුතු කරන නීති සමාගම් දෙකක නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය සඳහා අවශ්‍ය ලේඛන සකස් කිරීමට නියමිත බව සඳහන් වේ.
සිවරාසා අනෝජන්ට මුලින් සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය විසින් වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබූ අතර, පසුව සිදු වූ නීතිමය ක්‍රියාමාර්ගයකින් අනතුරුව මරණ දඬුවම නියම වී තිබේ. ශ්‍රී ලංකා රජය නීතිමය, රාජ්‍යතාන්ත්‍රික සහ කොන්සියුලර් මාර්ග ඔස්සේ ඔහුට සහනයක් ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටී.
















