අධිකරණය මගහැරීමේ අරමුණින් නොව, තමන්ට පැවති දැඩි මානසික පීඩනය හේතුවෙන් ආරණ්‍යයකට ගොස් භාවනා කිරීමට කටයුතු කළ බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.
අද (5) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ බව වාර්තා වේ. අධිකරණය සමඟ තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමන් නිරන්තරයෙන් කටයුතු කළේ රටේ ජනතාව වෙනුවෙන් බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.
මේ අතර, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පෙර නියම වූ සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇති බව වාර්තා වේ. ඥානසාර හිමියන් මීට පෙර විවෘත වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
















