බල්ගේරියාවේ වෙරළට ආසන්න මුහුදු ප්රදේශයේදී ඩ්රෝන ප්රහාරයකට ලක්ව භාණ්ඩ ප්රවාහන නෞකාවක් මුහුදුබත් වීමෙන් නාවිකයන් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඔක්තෝබර් 13 වැනිදා වාර්තා වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් බල්ගේරියානු බලධාරීන් පැවසුවේ එක රැයකදී භාණ්ඩ ප්රවාහන නෞකා දෙකකට ඩ්රෝන ප්රහාර එල්ල වී ඇති බවයි. ඉන් එක් නෞකාවක් මුහුදුබත් වී ඇති අතර, අනෙක් නෞකාවට සිදුවූ හානිය පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තාවේ පැහැදිලිව සඳහන් නොවේ.
මුහුදුබත් වූ නෞකාවේ සිටි පස්දෙනෙකු බේරාගෙන ඇති අතර, අතුරුදන් වූ නාවිකයන් 11 දෙනා සොයා මෙහෙයුම් ක්රියාත්මක බව වාර්තා වේ. තවත් වාර්තාවක සඳහන් වන්නේ මෝල්ටා ධජය යටතේ යාත්රා කළ නෞකාවකට ඩ්රෝන තුනකින් ප්රහාර එල්ල වූ බවයි.
ප්රහාර පිටුපස රුසියාව සිටින බව බල්ගේරියාව සෘජුවම චෝදනා කර නොමැති නමුත්, එරට අග්රාමාත්ය රුමෙන් රදෙව් ප්රකාශ කර ඇත්තේ මෙම සිදුවීම්වල ප්රතිඵල රුසියාවට වාසිදායක වන බවයි. ඒ සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයා කැඳවීමට ද බල්ගේරියානු බලධාරීන් පියවර ගෙන තිබේ.
යුක්රේනය සහ යුරෝපා සංගමය ද ප්රහාර හෙළා දැක ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොස්කව් පාර්ශ්වයෙන් එම අවස්ථාවේදී ප්රතිචාරයක් ලැබී නොතිබූ බව රොයිටර්ස් වාර්තා කරයි.
















