වගා ව්යාපෘති සඳහා ආයෝජනය කිරීමේ අරමුණින් මහජනතාවගෙන් ලබාගත් මුදල් ඇතැම් සමාගම් විසින් පුවත්පත්, සුපිරි වෙළෙඳසැල් සහ සංචාරක ව්යාපාර ආරම්භ කිරීමට මෙන්ම ප්රසංග සංවිධානය කිරීමට සහ ක්රිකට් තරග සඳහා අනුග්රහය දැක්වීමට යොදාගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඇතැම් අවස්ථාවලදී එම මුදල්වලින් කොටස් සහ කලාකරුවන්ට ලබාදෙන ත්යාග සඳහාද වියදම් කර ඇති බවයි.
එමෙන්ම වගා ආයෝජන ප්රවර්ධනය කිරීම සඳහා ඇතැම් සමාජ මාධ්ය ක්රියාකාරීන්ට ගෙවා ඇති මුදල්ද මහජනතාවගේ මුදල් බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
නීතිවිරෝධී ලෙස තැන්පතු භාරගත් ගිණුම් පමණක් මහ බැංකුව විසින් අත්හිටුවා ඇති අතර, කිසිදු වගා ආයෝජන ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවා නොමැති බවද ඔහු සඳහන් කළේය.
නව ආයෝජන අඩුවීම හේතුවෙන් මීට පෙර මුදල් තැන්පත් කළ පුද්ගලයන්ට ගෙවිය යුතු මුදල් ආපසු ගෙවීමේ ගැටලුවකට ඇතැම් සමාගම් මුහුණදී ඇති බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.
නීතිවිරෝධී ලෙස තැන්පතු භාරගත් සමාගම් අදාළ නීතිමය ක්රියාවලියට මුහුණදී, තැන්පත්කරුවන්ට එම මුදල් ආපසු ගෙවීම සඳහා පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















