ලෝක බලවතුන් අතර ආර්ථික සබඳතා අලුත් මාවතකට යොමුවෙමින් පවතින පසුබිමක චීනයේ අපනයන ක්ෂේත්‍රය අප්‍රේල් මාසයේදී බලාපොරොත්තු වූවාට වඩා වේගවත් වර්ධනයක් වාර්තා කර තිබේ. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය (AI) ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය උපාංග සහ මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් අමුද්‍රව්‍ය මිල ඉහළ යනු ඇතැයි යන බිය මත විදෙස් ගැනුම්කරුවන් සිදුකරන විශාල ඇණවුම් මෙම වර්ධනයට ප්‍රධානතම හේතුව වී ඇත. පසුගිය වසරට සාපේක්ෂව අපනයන සියයට 14.1 කින් ඉහළ ගොස් ඇති අතර එය ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කළ අගයට වඩා බෙහෙවින් වැඩි වීම විශේෂත්වයකි.
මෙම අපනයන වර්ධනයත් සමඟ චීනයේ සමස්ත වෙළඳ අතිරික්තය අමෙරිකානු ඩොලර් බිලියන 84.8 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉදිරි සතියේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බීජිං සංචාරයේදී ප්‍රධාන සාකච්ඡා මාතෘකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවර අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට පෙර චීනයෙන් වෙළඳ සහන ලබා ගැනීමට ට්‍රම්ප් උත්සාහ කරනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත් චීනය සිය කාර්මික නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් ලෝක වෙළඳපොළ තුළ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කර ගනිමින් සිටින බව නවතම දත්ත මගින් තහවුරු වේ.
ගෝලීය වශයෙන් පවතින ඉන්ධන සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම හමුවේ වුවද චීන අපනයනකරුවන් සාර්ථකව සිය වෙළඳ ඉලක්ක සපුරා ගනිමින් සිටීම කැපී පෙනෙන කරුණකි. විශේෂයෙන්ම දකුණු අමෙරිකාව වැනි නව වෙළඳපොළවල් කරා සිය නිෂ්පාදන අඩු මිලට යොමු කිරීම හරහා චීනය සිය ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට සමත්ව සිටී. එළඹෙන මැයි 14 වනදා පැවැත්වෙන ට්‍රම්ප්-ෂී ජින්පින් හමුව තුළින් දෙරට අතර පවතින වෙළඳ යුද්ධය සමනය කර ගැනීමට හැකි වනු ඇති දැයි ලෝක ආර්ථික ක්ෂේත්‍රය දැඩි අවධානයෙන් පසුවෙයි.














