ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන CIC Holdings, 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 3.79ක බදු පසු ලාභයක් වාර්තා කර තිබෙනවා. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 16.72%ක වර්ධනයක්.
එම කාලය තුළ සමූහයේ ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 42.91ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 3.06%ක වර්ධනයක් බව සමාගම සඳහන් කරනවා.
සමූහයේ මෙහෙයුම් ලාභය 2.65%කින් වර්ධනය වී රුපියල් බිලියන 5.86ක් ලෙසත්, බදු පෙර ලාභය 8.26%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 5.35ක් ලෙසත් වාර්තා වී තිබෙනවා.
අංශ අනුව කෘෂි විසඳුම් අංශයෙන් රුපියල් බිලියන 17.51ක ආදායමක්ද, සත්ත්ව නිෂ්පාදන විසඳුම් අංශයෙන් බිලියන 10.59ක්ද, සුව සේවා හා පුද්ගලික සත්කාර අංශයෙන් බිලියන 10.05ක්ද උපයා තිබෙනවා. කාර්මික විසඳුම් අංශයේ ආදායම 34.91%කින් වර්ධනය වී රුපියල් බිලියන 5.43ක් දක්වා ඉහළ යාමද විශේෂත්වයක්.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ මහතා පවසන්නේ අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද ප්‍රධාන ව්‍යාපාරික අංශවල ශක්තිමත් ක්‍රියාකාරිත්වය සහ පිරිවැය පාලනය හේතුවෙන් මෙම ලාභදායීත්වය අත්කර ගැනීමට හැකි වූ බවයි.
















