ගාලු සාහිත්‍ය උළෙල (GLF) නව මුහුණුවරකින් 2027 මාර්තු 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ඓතිහාසික ගාලු කොටුවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
GLF 2.0 ලෙස නම් කර ඇති මෙවර උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වන වලි කුකුළා ඇසුරින් නිර්මාණය කළ ‘වලී’ (Walee) නමැති නව සුරතලෙකු ද හඳුන්වා දී ඇත.
දේශීය හා විදේශීය විද්වතුන් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් දින පහක් පුරා පැවැත්වෙන මෙම උළෙලට සජීවී සංවාද, සාහිත්‍ය වැඩසටහන්, ළමා උළෙල සහ කලා ප්‍රදර්ශන ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් වේ.
මෙවර උළෙල සඳහා නේපාලයේ චෞද්රි පදනමේ (Chaudhary Foundation) සහයෝගය ද හිමිව තිබේ. අධ්‍යාපනය, සංස්කෘතික සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් කටයුතු කර ඇති එම පදනම සාහිත්‍ය හා කලා ක්ෂේත්රයේ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට ද දායකත්වය ලබාදෙයි.
මෙවර උළෙලේ නිර්මාණාත්මක නායකත්වය සහ වැඩසටහන් සම්පාදනය ප්‍රවීණ මාධ්‍යවේදිනී සාවිත්‍රි රොද්‍රිගෝ මහත්මිය විසින් මෙහෙයවනු ලබන අතර, සම්මානනීය බ්‍රිතාන්‍ය නිවේදකයෙකු සහ සංස්කෘතික විචාරකයෙකු වන නිහාල් අර්ථනායක මහතා ද ඊට එක්වීමට නියමිතය.
2004 සුනාමි ව්‍යසනයෙන් පසු සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීම සහ දකුණු වෙරළ තීරයට නව ජීවයක් ලබාදීමේ අරමුණින් ජෙෆ්රි ඩොබ්ස් මහතා විසින් 2007 වසරේදී ගාලු සාහිත්‍ය උළෙල ආරම්භ කර තිබේ. මේ වන විට එය දකුණු ආසියාවේ ප්රමුඛ සංස්කෘතික උළෙලක් බවට පත්ව ඇත.
















