කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්, තඹ කම්බි සහ විදුලි පහන් කණු ඇතුළු උපකරණ සොරකම් කිරීමේ සිද්ධි රැසක් වාර්තා වී ඇති බව 2024 වසරට අදාළ ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ.
විගණන වාර්තාවට අනුව 2021, 2022 සහ 2023 යන වසර තුළ සොරකම් සිද්ධි 100ක් වාර්තා වී ඇති අතර, ඉන් සිද්ධි 11ක වටිනාකම රුපියල් මිලියන 580ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. අනෙකුත් සොරකම් 89හි වටිනාකම හඳුනාගෙන නොතිබූ බවද වාර්තාව සඳහන් කරයි.
අධිවේගී මාර්ගයේ මධ්‍ය තීරුවේ ඇති විදුලි රැහැන් සම්පූර්ණ කොන්ක්‍රීට් ආවරණයකින් ආරක්ෂා කර නොතිබීම හේතුවෙන් ඒවා පහසුවෙන් කපා ඉවත් කළ හැකි තත්ත්වයක් පැවති බව ක්ෂේත්‍ර පරීක්ෂාවේදී නිරීක්ෂණය වී තිබේ. පළමු සොරකම වාර්තා වූ 2021 වසරේ සිට සුදුසු ආරක්ෂක ක්‍රමවේද හඳුන්වා නොදීම සහ වගකිවයුතු නිලධාරීන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සොරකම් අඛණ්ඩව සිදුවූ බවද විගණනය පෙන්වා දෙයි.
තවද, පළමු කිලෝමීටර් 10 සඳහා වූ ඉංජිනේරු ඇස්තමේන්තුව සමඟ සැසඳීමේදී සම්පූර්ණ අධිවේගී මාර්ගයේ හානි පූරණය සඳහා වැය විය හැකි මුදල රුපියල් මිලියන 1,770 ඉක්මවන බව විගණන වාර්තාව සඳහන් කරයි. එම හානි සඳහා වගකිවයුතු පුද්ගලයන් හඳුනාගෙන ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම පිළිබඳවද විගණනය අවධානය යොමු කර තිබේ.
මේ අතර, 2026 ජුනි මාසයේදී කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි ආලෝක පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියන 1.0985ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවද වාර්තා වී තිබේ.
















