ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8 දක්වා ඉහළ නංවා ගැනීම සඳහා දේශීය අගය එකතු කිරීම පුළුල් කරමින් රෙදිපිළි මෝල් සහ අදාළ කර්මාන්ත වෙත සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රබල ආයෝජන දිරිගැන්වීම් ලබා දෙන ලෙස මෙරට ඇඟලුම් අංශය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. පසුගිය වසර පහක කාලය තුළ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5 සීමාව තුළම එක තැන පල්වී ඇති බවත්, ආනයනික අමුද්‍රව්‍ය මත දැඩි ලෙස යැපීම කර්මාන්තයේ ඉදිරි වර්ධනයට විශාල බාධාවක් වී ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ සංසදය (JAAF) පෙන්වා දෙයි.
දේශීය සැපයුම් දාමය ශක්තිමත් කිරීම මඟින් ආනයන මත ඇති යැපීම අවම කර ගැනීමට මෙන්ම, එක්සත් ජනපදය සමඟ මනා මනාපුරෝද වරණීය වෙළඳ ගිවිසුමකට එළඹීමටත්, 2027 යුරෝපා සංගමයේ නව GSP ප්ලස් යෝජනා ක්‍රමය ලබා ගැනීමටත්, ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම ශක්තිමත් කර ගැනීමටත් කර්මාන්ත අංශය රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටී. මීට අමතරව, දකුණු කොරියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීම, ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) කර්මාන්තයට හඳුන්වා දීම, කඩිනම් අනුමැතීන් ලබා දීම මෙන්ම කම්කරු නීති ප්‍රතිසංස්කරණ සහ බලශක්ති තරඟකාරීත්වය වැනි කරුණු රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව JAAF සංසදය පෙන්වා දෙයි.














