කොළඹ නගරයේ වැඩිහිටි ජනතාවගේ ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් කොළඹ මහ නගර සභාව විසින් ස්ථාපිත කළ පළමු වැඩිහිටි දිවා ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය අද (29) කිරුළපනේ නාගස්වත්ත ළමා ප්‍රජා මධ්‍යස්ථානයේදී විවෘත කර තිබෙනවා.
මෙම මධ්‍යස්ථානය හරහා යෝගා, විනෝදාත්මක ක්‍රීඩා, මතකය සහ සිතුවිලි වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම්, සංගීත සහ නර්තන ඇතුළු විවිධ ක්‍රියාකාරකම් වැඩිහිටියන් සඳහා ලබාදීමට නියමිතයි.
ආරම්භයේදී නාගස්වත්ත ප්‍රදේශයේ තෝරාගත් වැඩිහිටි පිරිසක් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ඔවුන්ට සක්‍රීයව කාලය ගත කිරීමට, සෙසු පුද්ගලයන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සහ ප්‍රජාව සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනවා.
කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින්, මහජන ආධාර දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව, නිවාරණ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
කොළඹ නගරයේ වැඩිවන වැඩිහිටි ජනගහනයේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන හඳුන්වාදුන් බව කොළඹ මහ නගර සභාව සඳහන් කරන අතර, ඉදිරියේදී කොළඹ අනෙකුත් ප්‍රදේශ වෙතද එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
















