27 April 2024
#දේශීය

රසායනික පොහොර භාවිතය ගැන සොයන්න විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවයි

රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අද (15) තීරණය කල බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ සඳහා වන වැඩපිළිවෙල ඉදිරි සතිය තුළ ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

ගෙවුණු වසර කිහිපය තුළ මේ පිළිබඳව කෙරුණු යම් යම් අධ්‍යයනයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

මේ අතර රසායනික පොහොර භාවිතය වැළැක්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙලට සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශ වල සහයෝගය අත්‍යවශ්‍ය බවත් මෙය ඉහළම ජාතික වැඩපිළිවෙලක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර මේ වන විට මෙරට දිස්ත්‍රික්ක 16 ක් පුරා වකුගඩු රෝගය ව්‍යාප්තව ඇතැයිද ගෙවුණු වසර කිහිපයෙහි එහි සිඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවද මෙහිදී අනාවරණය විය.

1994 වසරේ සිට වසරින් වසර මෙරට වකුගඩු රෝගීන්ගේ විශාල ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් අනුරාධපුර ඇතුළු උතුරුමැද ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බවත් අනාවරණය විය. වාර්තාවන වකුගඩු රෝගීන්ගෙන් 95%ක් පමණ කෘෂිකර්මාන්තයට සම්බන්ධ පවුල් වල පිරිස් යැයිද මෙහිදී හෙළි විය. වකුගඩු රෝගය හේතුවෙන් 70% ක් පමණ වයස්ගත පුරවැසියන්ගේ මරණ මෙයට පෙර වාර්තා වුවුද මේ වන විට අවුරුදු 35 -40 අතර වයස්හි පුද්ගලයන් මියයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද මේ සාකච්ඡාවේදී අනාවරණය විය.

මේ අතර රසායනික ද්‍රව්‍ය අවභාවිතා කරමින් සිදු කරගනු ලබන ජීවිත හානි අවම කර ගැනීම සඳහා වන අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියේය. පසුගියදා ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසියකට සහභාගී වෙමින් ඒ මහතා මෙම ඉල්ලීම කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාව සඳහා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය , හරිත කෘෂිකර්මාන්තයේ මෙහෙයුම් කමිටුවේ සභාපති මහාචාර්ය ප්‍රියන්ත යාපා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *