ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටියදී සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වුණි. එහිදී සාක්ෂි ලබාදුන් මරණකරුගේ ඥාති සොහොයුරෙකු වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සඳහන් කළේ මියගිය දින රාත්‍රියේ කපිල චන්ද්‍රසේන මහතා දැඩි මානසික පීඩනයකින් පසුවූ බවයි.
නඩු විභාගයේදී අනාවරණය වූ පරිදි “මම එළියට ඇවිල්ලා දවසයි නේ, මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා” යැයි කපිල චන්ද්‍රසේන මහතා මියගිය දින රාත්‍රියේ දෙවතාවක්ම තමා සමඟ පැවසූ බව අරවින්ද ද සිල්වා මහතා අධිකරණය හමුවේ පැවසූ අතර ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් මත ඔහුට එරෙහිව යළි වරෙන්තු නිකුත් වී තිබීම මෙම පීඩනයට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මරණකරුගේ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටත් මරණකරුගේ ගෙල බැඳි පටිය සහ අපරාධ ස්ථානයේ තිබී හමු වූ හඳුනා නොගත් ඖෂධ වර්ග වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් අවසර ලබාගත් අතර Face ID මගින් අගුළු දමා ඇති ඔහුගේ ජංගම දුරකථනය විවෘත කිරීමට අදාළ නිෂ්පාදිත සමාගම වෙත යොමු කිරීමට ද අවසර ලබාගත්තේය. පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් මගින් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර මෙහි සෙසු සාක්ෂි කැඳවීම ලබන 14 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. පසුගිය මැයි 05 වැනිදා ඇප මත මුදා හැරුණු කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප කොන්දේසි සඳහා ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී පසුගිය 08 වැනිදා ඔහු මියගොස් සිටියදී හමු විය.














