සති අන්තයේ පැවති විරෝධතා ප්රචණ්ඩකාරී තත්ත්වයකට පත්වීමෙන් පසු රටේ නීතිය හා සාමය යළි ස්ථාපිත කිරීමේ අරමුණින් අවශ්ය ප්රදේශවලට තවදුරටත් ඇඳිරි නීති පැනවීමට ප්රංශ රජය සූදානම් වෙයි.
ප්රංශ අග්රාමාත්ය සෙබස්තියන් ලෙකෝර්නු සඳහන් කර ඇත්තේ, අදාළ ප්රදේශවල බලධාරීන් සහ නගරාධිපතිවරුන් එක්ව ඇඳිරි නීති පැනවීමේ අවශ්යතාව තීරණය කරන බවයි.
ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් සහ අධ්යාපන ක්ෂේත්රයේ තත්ත්වය වැඩිදියුණු කරන ලෙස ඉල්ලා පසුගිය සෙනසුරාදා ප්රංශය පුරා ලක්ෂ පහකට අධික පිරිසක් විරෝධතාවලට එක්වූ බව වාර්තා වේ. එම විරෝධතා අතරතුර ප්රදේශ කිහිපයක කොල්ලකෑම් සහ ගිනි තැබීම් සිදුව ඇති අතර, පුද්ගලයන් 2,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, සඳුදා රාත්රිය රට පුරා ප්රධාන සිදුවීම්වලින් තොරව සාමකාමීව ගතවූ බව පොලිසිය පවසා තිබේ. මීට අමතරව, කොල්ලකෑමට ලක්වූ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ නැවත අලෙවි කිරීම වැළැක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට ප්රංශ ඩිජිටල් කටයුතු අමාත්ය ඇන් ලෙ හෙනාෆ් සමාජ මාධ්ය හා අන්තර්ජාල වෙළෙඳ වේදිකා නියෝජිතයන් හමුවීමට නියමිතය.
මෙම තත්ත්වය හමුවේ රජය ආරක්ෂක අංශවල ක්රියාකාරීත්වය සහ ඉදිරි විරෝධතා පාලනය කිරීමේ ක්රමවේද පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ. විරෝධතා සංවිධායකයන් ලබන සෙනසුරාදා යළි විරෝධතා පැවැත්වීමට ඉල්ලීම් කර ඇති නමුත් ප්රංශයේ ප්රධාන වෘත්තීය සමිති එම ඉල්ලීමට මෙතෙක් සහාය පළ කර නැත.














