යේමනයේ යළි උත්සන්න වූ සටන් හේතුවෙන් පුද්ගලයන් 250,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය (UNHCR) පවසයි.
2026 ජූලි මාසයේදී යළි උත්සන්න වූ ගැටුම් හේතුවෙන් හූති සටන්කාමීන් සහ ජාත්යන්තර පිළිගැනීමක් ඇති රජයට පක්ෂ හමුදා අතර යේමනයේ ප්රදේශ කිහිපයකම සටන් පවතින බව වාර්තා වේ.
නිරිතදිග යේමනයේ තයිස් නගරය අවතැන්වීමේ අර්බුදයේ ප්රධාන කේන්ද්රස්ථානයක් බවට පත්ව තිබේ. අලුතින් අවතැන් වූවන් අතරින් සියයට 52ක් එම ප්රදේශයේ රැඳී සිටින බවත්, අවතැන්වීම්වලින් සියයට 76ක් තයිස් ප්රදේශයට සම්බන්ධ බවත් UNHCR සඳහන් කරයි.
නේවාසික ප්රදේශ සහ සෞඛ්ය පහසුකම් ආසන්නයේ ෂෙල් ප්රහාර තීව්ර වී ඇති අතර, ප්රධාන මාර්ගවල පවතින අනාරක්ෂිත තත්ත්වය සහ ගමනාගමන සීමා හේතුවෙන් මානුෂීය ආධාර සැපයීමද දුෂ්කර වී ඇත.
අවතැන් වූ පවුල් සඳහා නවාතැන්, ආහාර සහ මුදල් ආධාර ප්රධාන අවශ්යතා බව UNHCR පෙන්වා දෙයි. පවුල් 33,700කට පමණ තවදුරටත් නවාතැන් ආධාර අවශ්ය බවද එම ආයතනය සඳහන් කර තිබේ.
මේ අතර, යුනිසෙෆ් (UNICEF) ආයතනය අනතුරු අඟවන්නේ තයිස් ප්රදේශයේ උත්සන්න වන සටන් සහ ඉන්ධන හිඟය හේතුවෙන් මිලියන තුනක පමණ ජනතාවකට සේවා සපයන ජල පද්ධති අවදානමට ලක්ව ඇති බවයි. එම ජනතාව අතර ළමුන් මිලියන 1.6ක් පමණ සිටින බවද වාර්තා වේ.
දැනටමත් ජල හිඟයෙන් පීඩා විඳින යේමනයේ මෙම තත්ත්වය තවදුරටත් උග්ර වුවහොත් අවතැන් පවුල් ඇතුළු විශාල පිරිසකට අත්යවශ්ය සේවා ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට මානුෂීය ආයතන අවධානය යොමු කර තිබේ.














