අධ්‍යාපනය යනු විභාග සමත්වීම හෝ සහතික පත්‍ර එකතු කිරීම පමණක් නොව, ජීවත්වන සමාජය තේරුම්ගෙන එහි යහපත් වෙනසක් ඇති කළ හැකි සංවේදී හා වගකීම් සහගත පුරවැසියන් බිහිකිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ගාල්ල, බටදූව ශ්‍රී රතනජෝති විද්‍යාලය සියලු සෞන්දර්ය විෂයයන් සහිත විශේෂිත සෞන්දර්ය පාසලක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට අද (29) එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ අධ්‍යාපනය තුළින් දැනුම හා වෘත්තීය සුදුසුකම් ලබාදීමෙන් ඔබ්බට ගොස්, සමාජය පිළිබඳ මනා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ හැකි පරපුරක් නිර්මාණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවයි.
















